අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියන
ලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත්
දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න,
බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්,
රොක් හිල් හා හරියට නම් නොදන්න කඳු, සමහර තැන් මේ වෙලාවෙ එකපාරට මතක් වෙන්නෑ.
අද කියන්න යන්නෙ ගිය සතියෙ ගිය තැනක් ගැන.
හැමෝම අහල ඇතිනේ ලෝකාන්තය ගැන හෝර්ටන් තැන්නෙ තියන.
ඒත් මේ කියන්න යන්නෙ ඒක ගැන නෙමේ.මේ පුංචි ලෝකාන්තය ඒක තියෙන්න පස්සර මඩොල්සිම.
හරියටම කිව්වොත් බදුල්ලෙ ඉඳන් කිලෝමීටර 61 දුරින් තව කිව්වොත් පස්සර ඉඳනුත් කිලෝමීටර 42
දුරින් madolsima වතුයායේ කොනක තියන තැනක් ගැන.
මෙතනට යනපාර ගැන කිව්වොත් බදුල්ලෙ ඉඳන් පස්සර පාරේ පස්සරට ගිහින් පස්සරින් හැරිලා මඩොල්සිම පාරෙ
මඩොල්සිමට ගිහින් එතනිනුත් හැරිලා පිටමාරුවට යන පාරේ සෑහෙන්න දුර (කිලොමීටර් 20ක් විතර )යන්න ඕන.
මඩොල්සිම ඉඳන් නම් පාරක් නෑ කිව්වත් හරි මොකද තියන් පාර හොඳටම අබලන්.
ඉඳලා හිටලා තැනක තාර ටිකක් තියනවා.
අපිනම් ගියෙ බස් එකේ. පිටමාරුවට බදුල්ලෙ ඉඳන් දවසකට බස් 2 යනවා. අපි ගියේ උදේ 7.30ට විතර තියන බස් එකේ.
අපේ ගිය කට්ටිය.
පස්සර ඉඳන් ගොඩක් දුර යනකන් නමුණුකුල කඳු වැටිය හොඳට පේනවා.
නමුණුකුල කඳු පන්තිය
මේ හරියෙ දිගටම තියෙන්නෙ තේ වතු හා වතු ජනාවාස. සිංහල ගම් නම් හම්බෙනවා අඩුයි.
මගදි දකින්න පුලුවන් madolsima වතුයායේ අයිති කාබනික තේ වගාවකුත්.
කාබනික ගොවිතැන ගැන අහල තිබුනට කාබනික තේ වගාව ගැන අහල තියනවද ?
විශේෂත්වය තමයි මේකට යොදන්නෙ තනිකරම කාබනික පොහොර වගේම වල් පැල ඉවත්කිරීමකුත් සිදුවෙන්නෙ නෑ.
මමත් මේක ගැන හරියට දන්නෙ නෑ හැබැයි ඔයගොල්ලන්ට ලංකාවෙදි නම කාබනික තේ මිලදීගන්න ලැබෙන්නෙ නෑ මොකද
මේවා සම්පූර්ණයෙන් අපනයනයට තමයි නිපදවන්නෙ.
කාබනික තේ වගාව
ආ.. මගදි දකින්න පුලුවන් තව විශේෂ දෙයක් තියනවා ඒ තමයි DS ගල.මේක දිහා ඈත ඉඳන් බැලුවහම
පේන්නෙ D.S.සේනානායක මහතා වගෙයි. මූන රැවුල නහය ගොඩක් ඒවගේම තියනව.
DS ගල.චායාරූපය ගත්තෙ බස් එකේ යනගමන්.
බස් එකෙන් බැහැලා කිලොමීටරයක් විතර දුර පයින් යන්න ඕනා.මේ හරියෙ යද්දි පරිසරය හැමතිස්සෙම වෙනස් වෙනවා.
අපි යද්දි තද මීදුමක් තිබුනා ටික වෙලාවකින් තදට පායන්න ගත්තා.හිමිහිට හිමිහිට පයින් යද්දි ඔන්න අපේ ගමනාන්තයට ලඟා උනා.
මෙතනින් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ තියනවා තද හෙලක් මීටර් 300ක් විතර යටට තියන.
එතන පලල ගල් දෙබොක්කාවක් වගේ තැනක්.හරියට හුම්මනය වගේ යට ඉඳන් එන මීදුම දෙපැත්තෙ ගල් දෙකේ වැදිලා වේගයෙන් උඩට එනවා.
හිටගෙන එතනින් පහල බලන්න බෑ.බිම දිගාවෙලා තමයි බලන්න ඕනා.
එතනිනුත් තව ටිකක් ඉස්සරහට යද්දි තමයි පුංචි ලෝකාන්තය හමබවෙන්නෙ.
මෙතන බිම හදල තියනවා වටේට තියන පලාත් පෙන්වන බෝඩ් එකක්.
වටේට මහනුවර,මහියංගනය,බිබිල,අම්පාර,මඩකලපුව,මොනරාගල,පස්සර, බදුල්ල ආදී ප්‍රදේශ තියන බව සඳහන් උනත් හරියට පේන්නෙනෑ.
ඈත වැවක්නම් පේනවා සේනානායක සමුද්‍රය පේනබව තිබුනත් හරියම මොකද්ද කියන්න බෑ.
තව පොඩි කඳු ගැටයක් තියනවා ටිකක් එහායින්.
අපි එතනටත් නැගලා ටිකක් වෙලා ඉඳලා ආපහු පහලට බැස්සා.මොකද එක බස් එකයි තියෙන්නෙ ආපහු යන්න.
ඒක 1.30ට විතර කලින් බැහැපු තැනට එනවා.අපි පහලට ඇවිත් ගිය බස් එකේම ආපහු ආවා.
මේක බොහොම සුන්දර මතක සටහනක් තමයි මටනම්.
ඒ මතකය හැමෝම එක්ක බෙදා හදා ගන්න තමයි මේ සටහන ලිව්වේ.
අන්තිමට කියන්න තියෙන්නෙ මේ වගේ තැනකට ඔයගොල්ලොත් යනවනම්
එක දෙයක් විතරක් තියලා එක දෙයක් විතරක් අරන් එන්න.
ඒ පියසටහන් පමනක් ඉතුරුකරලා චායාරූප එහෙම නැත්නම් සුන්දර මතකය විතරක් අරන් එන්න.........